ගුවන් අනතුරු වලින් මිය ගිය ගුවන් නියමු යුවළ


    පසුගිය ඉරිදා නේපාලයේ සිදු වූ ගුවන් අනතුරෙන් මිය ගිය එහි සහාය ගුවන් නියමුවරියගේ, සැමියාද සහාය ගුවන් නියමුවෙකු වශයෙන් සේවය කරමින් සිටියදී මීට වසර 16 කට පෙර ගුවන් අනතුරකින් මිය ගොස් තිබෙනවා.

    අන්ජු කතිවදා වන ඇය නේපාලයේ "යෙටී" ගුවන් සේවයේ සහාය නියමුවරියක් වශයෙන් සේවය කරමින් සිටියා.


    පසුගිය ඉරිදා ඇය මෙම අනතුරට ලක් වූයේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිට සංචාරක නගරයක් වන පෝකරා වෙත මගීන් 72 ක් සහ කාර්යය මණ්ඩලයේ සිව්දෙනෙකු සමඟින් පියාසර කරමින් සිටියදීයි.


    මෙම ගුවන් අනතුරෙන් ගුවන් යානයේ සිටි සියලුම මගීන් සහ කාර්යය මණ්ඩලය මිය ගිය අතර හමුවූයේ එක් මළ සිරුරක් පමණයි. මෙම ගුවන් අනතුර වාර්තා වන්නේ නේපාලයේ වසර 30 ක් තුළ සිදු වූ ඛේදජනකම ගුවන් අනතුර ලෙසිනුයි.


    විශේෂත්වය වන්නේ, ඇගේ සැමියා වන දීපාක් පොක්රෙල්ද,  "යෙටී" ගුවන් සේවයේ සේවය කරමින් සිටියදී 2006 වසරේ සිදු වූ මෙවැනිම ගුවන් අනතුරකින් මිය ගොස් තිබීමයි.

    තම සැමියාගේ හදිසි වියෝවයෙන් වසර 4 කට පසු ඇයද "යෙටී" ගුවන් සේවය සමඟින් සම්බන්ධ වූයේ එහි සහාය ගුවන් නියමුවරියක් වශයෙන් සේවය කිරීමටයි.

    පසුගිය ඉරිදා සිදු වූ ගුවන් අනතුරෙන් මිය යන විට ඇය සාර්ථක සහාය ගුවන් නියමුවරියක් ලෙස ගුවන් පැය 6,400 ක් සම්පූර්ණ කර තිබුණා.

තවත් ලිපි