මීට කලකට පෙර ශ්‍රී ලංකාවේ මෙන්ම බංග්ලාදේශයේත් ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ චන්දික හතුරුසිංහ මේ වන විට නැවතත් ජාත්‍යාන්තර මාධ්‍යයේ කතා බහට ලක් වෙන්න පටන් අරගෙන තියෙනවා.
ඒ ඔහුව නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත්කිරීමට යන ආරංචියත් සමඟයි.
2017 වසර වන තෙක් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරපු හතුරුසිංහ, ශ්‍රී ලංකාවෙන් ලැබුණු ආරාධනයත් එක්ක එම තනතුරෙන් හදිසියේ ඉවත් වී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාරගත්තා.
වසර කිහිපයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සේවය කරන විට ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉවත් කළේ ලොකු වන්දි මුදලකුත් ලබා දීලයි.
ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ක්‍රියා කළ හතුරුසිංහට නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ආරාධනයක් ලැබුණේ එරට ප්‍රධාන පුහුණුකරු වශයෙන් නැවතත් කටයුතු කරන ලෙසටයි.
නමුත්, මෙම ආරාධනයට විරෝධය පළ කිරීමටයි බංග්ලාදේශ ක්‍රීඩකයින් කටයුතු කළේ.
ඒකට හේතුව තමයි, 2017 වසරේදී, ශ්‍රී ලංකාවෙන් ලැබුණු ඇරයුම හේතුවෙන් හිටිහැටියේම බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් හතුරුසිංහ ඉවත් වීම.
බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆ් මෝර්ටශා පැවැසුවේ " හතුරුසිංහ වැදගත් විදිහට තනතුරෙන් ඉවත්ව ගියානම් මෙවැනි ගැටළුවක් ඇති වෙන්නේ නෑ. හැබැයි ඔහු ඉවත්ව ගියේ කොන්ත්‍රාත් කාලය අතර මැදදීයි. එහෙම ඉවත් වුණ හතුරුසිංහ අපේ බෝර්ඩ් එකේ සභාපතිගේ දුරකතනයටවත් ප්‍රතිචාර දැක්වූයේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ඔහුගේ අපි ගැන එහෙමවත් ගරුත්වයක් තිබුණ නැති එකයි."
මේ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හතුරුසිංහව නැවතත් එරට ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත්කර ගැනීමට උත්සාහ කරන විට එරට ක්‍රීඩකයින්ගෙන් එල්ල වන්නේ හතුරුසිංහට දැඩි විරෝධයකි.