ඉතින් ආයුබෝවන් පේලේ !

    පාපන්දු ලෝක කුසලාන තුනකට හිමිකම් කියපු ලෝකයේ එකම ක්‍රීඩකයා වන බ්‍රසීල ජාතික පේලේ සිය දිවියෙන් සමුගෙන තිබෙනවා.

    බඩ වැලේ පිළිකාවක් නිසා වසර දෙකකට වැඩි කාලයක් ප්‍රතිකාර ගනිමින් සිටි පේලේ මියයන විට 82 වැනි වියේ පසු වුණා.

    පාපන්දු ක්‍රීඩාවේ මෙතෙක් බිහිවුණු විශිෂ්ටතමයා ලෙසින් සැලකෙන පේලේ පළමු වතාවට ලෝක කුසලාන තරඟාවලියකට ක්‍රීඩා කළේ 1958 දී ස්වීඩනයේදියි.



    ඒ වෙනකොට 17 හැවිරිදි වියේ පසු වූ පේලේ එයින් වසර 65 කට පසුවත්, ලෝක කුසලාන තරගයකට ක්‍රීඩා කරපු ළාබාලතම පාපන්දු ක්‍රීඩකයා විදිහටයි සැළකෙන්නේ.

    පේලේ කෙතරම් ජනප්‍රිය ක්‍රීඩකයෙක්ද කියනවානම් නයිජීරියාවේ ප්‍රදර්ශන පාපන්දු තරගයකට පේලේ සහභාගි වන්නේ නම්, තාවකාලික සටන් විරාමයකට යාමට 1967 දී, නයිජීරියානු සිවිල් යුද්ධයේ එක් පාර්ශ්වයක් එකඟ වුණා.



    1997 දී බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිනගෙන් නයිට් පදවිය ලබපු පේලේ, වරක් පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීම සඳහා ඇමරිකාවට ගියා. ඒ වෙලාවෙ, පේලේ පිළිගැනීමට පළමුවෙන්ම ඉදිරිපත්වූයේ ඇමරිකානු ජනාධිපතිවරයායි.



    "මගේ නම රොනල්ඩ් රේගන්. මම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා. ඒත් ඔබ ගැන හැඳින්වීමක් අනවශ්‍යයි. ඔබ ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා වන පේලේ කියා ලෝකයම දන්නවා" යැයි පේලේ වෙත අත දිගු කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවා.

    පේලේ යනු බ්‍රසීලයේ කළු ජාතිකයන්ගේ අභිමානයයි. ඒ ගැන සැකයක් හෝ විවාදයක් නැත. එහෙත් කිසිම අවස්ථාවක කළු ජාතිකයන් වෙනුවෙන් කොඩිය ගෙන යාමට පේලේ ඉදිරිපත් නොවීය. ඔහු සුපුරුදු ලෙසින් බ්‍රසීලයේ පේලේම විය.



    පාපන්දු ක්‍රීඩාවෙන් පසුව පේලේගේ දිවිය නොසිතු අඩවි වල සැරිසැරුවා.

    දේශපාලනඥයකු වශයෙන්, ඔහු බ්‍රසීලයේ අති විශිෂ්ටතම ක්‍රීඩා ඇමතිවරයා වුණා.

    ඔහු ඉතාම සාර්ථක ව්‍යාපාරිකයෙකු වගේම යුනෙස්කෝවේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් තානාපතිවරයකු ද වුණා.

    ඒ විතරක් නෙමෙයි. ඇතැම් අවස්ථාවල චිත්‍රපට නළුවකු ලෙසත් ඔපෙරා දර්ශන වලත් පෙනී සිටියා. ඒත් පේලේ කිසිම දවසක පාපන්දු ක්‍රීඩාවෙන් ඈත් වුණේ නෑ.

    පසු ගියදා කටාරයේ තිබුණ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පේලේ නැරඹුවේත් රෝහලේ ඉදිමින්මයි.

    පේලේ දිවි රඟමඬලින් බැස ගියද ඔහු නිර්මාණය කරපු අලංකාර ක්‍රීඩාවට  ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ඔහු සදාතනිකවම ලැගුම්ගෙන සිටිනු නිසැකයි.


තවත් ලිපි