තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලියේ ජය ඉන්දියාවට


    ශ්‍රී ලංකාවට එරෙහිව කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී ඊයේ (12 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරඟයෙන් කඩුලු 4 ක ජයක් ලබන්නට ඉන්දියාව සමත් වුණා.

    ඒ අනුව, දෙරට අතර පැවැති තරඟ 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළා.

    ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 43.2 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

    එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ලෝකේෂ් රාහුල් පන්දු 103 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් සිය කණ්ඩයම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

    ලකුණු 86 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී හර්දීක් පාණ්ඩ්‍යා (36) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රාහුල්, ඉන් නොනැවතී අක්සර් පටේල් (21) සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 30 ක්ද, කුල්දීප් යාදව් (නොදැවී 10) සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 28 ක්ද එක් කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට කුල්දීප් යාදව් සහ මොහොමඩ් සිරාජ් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 39.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215 ක් පමණයි.

    එහිදී කුල්දීප් ලකුණු 51 කට කඩුලු 3 ක්ද, සිරාජ් ලකුණු 30 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමුවා.

    මෙම තරගය නුවනිඳු ප්‍රනාන්දුගේ මංගල එක්දින තරගය වූ අතර එහිදී පන්දු 63 කින් අර්ධ ශතකයක් ලබාගැනීමට ඔහු සමත් වූයේ හතරේ පහර 6 ක් සමගිනුයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ හේතුවෙන් නුවනිඳුට කණ්ඩායමේ දොරටු විවර වුණා.

    දෙරට අතර තුන්වන එක්දින තරඟය එළැඹෙන ඉරිදා (15) ඉන්දියාවේ ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තවත් ලිපි